පැලෝපීය නාලයක් තුළ සිදුවන පරිණත ඩිම්භයක් ශුක්‍රාණුවක් හා සමග සංසේචනය වීමේ ස්වාභාවික ක්‍රියාවලිය පාලිත තත්ත්වයන් යටතේ විද්‍යාගාරයක් තුළ සිදුවීමට ඉඩ සැලැස්වීම නලදරු තාක්ෂණය ඔස්සේ සිදුකෙරේ.

නලදරු තාක්ෂණය සුදුසු වන්නේ,

පැලෝපීය නාල අවහිර වූ කාන්තාවන්ට

පැලෝපීය නාල ආසාදනය වූ කාන්තාවන්ට

එන්ඩොමෙට්‍රියෝසිස්ට් තත්වයෙන් පෙළෙන කාන්තාවන්ට

පුරුෂ ශුක්‍රාණු සාන්ද්‍රණය මද වශයෙන් අවම වූ යුවලකට

අයි.යු.අයි. ප්‍රතිකර්මය කිහිපවාරයක් සිදුකොට, අසාර්ථක වූ යුවලකට

ඔසප් චක්‍රයේ ක්‍රියාකාරිත්වය නතර වූ හෝ ආර්ථවහරණය සිදුවූ කාන්තාවන්ට

නලදරු තාක්ෂණයේ පියවර
  1. ඩිම්භ උත්තේජනය කිරීම
    • මෙහිදී ඩිම්භ කෝෂයන්හි ඩිම්භ වර්ධනය වීම සඳහා හෝමෝන එන්නත් ලබාදීම සිදුකෙරේ
    • මෙම හෝමෝන එන්නත් දිනපතා ලබාගැනීම අවශ්‍යවන අතර, කොපමණ දින ප්‍රමාණයක් හෝමෝන එන්නත් ලබාදිය යුතුදැයි නිර්ණය කරනුයේ කාන්තාවකගේ ඩිම්භ උත්තේජනයට හේතුවන FSH, LH හා AMH යන හෝමෝන මට්ටම් පරික්ෂා කිරීමෙන් අනතුරුවයි
    • යෝනිමාර්ගය ඔස්සේ සිදුකරන ස්කෑන් පරීක්ෂණ මගින් ඩිම්භ පරිණතවීම නිරීක්ෂණය කෙරේ
  2. ඩිම්භ මෝචනය
    • HCG එන්නත ලබාදීම මගින් ඩිම්භ මෝචනය උත්තේජනය කෙරේ
  3. ඩිම්භ චූෂණය
    • ඩිම්භ චූෂණය යනු ඩිම්භ කෝෂයන්හි වර්ධනය වූ ඩිම්භ පිටතට ගැනීමේ ක්‍රියාවලියයි
    • HCG එන්නත ලබාදී පැය 35 කින් ඩිම්භ චූෂණ ක්‍රියාවලිය සිදුකෙරේ
    • ඩිම්භ චූෂණය සිදුකරනුයේ විනාඩි පහක කාලයක් නිර්වින්දනය කිරීමෙන් අනතුරුව වන නමුත් මෙය ශල්‍යකර්මයක් නොවේ
    • ඩිම්භ චූෂණ ක්‍රියාවලියෙන් අනතුරුව පරිණත ඩිම්භ තෝරාගැනීම සිදුකෙරේ
  4. ශුක්‍රාණු සාම්පලයක් පිළියෙල කර ගැනීම
    • මෙහිදී සචල, සඵල හා රූපාකාරයෙන් සාමාන්‍ය වූ ශුක්‍රාණු තෝරා වෙන්කර ගැනීම සිදුකෙරේ
  5. ඩිම්භ සංසේචනය හා කළල වර්ධනය
    • ඉහත ආකාරයෙන් තෝරා වෙන්කරගත් ඩිම්භ හා ශුක්‍රාණු පෙට්‍රි දීසියක පිළියෙළ කරගත් රෝපණ මාධ්‍යයන් තුළ තැන්පත් කර බීජෞෂකයක් තුළ දින තුනක් හෝ දින 5ක් දක්වා වර්ධනය වීමට ඉඩ සැලැස්වේ
    • බීජෞෂකයක් තුළ ක්‍රියාකාරිත්වය පැලෝපීය නාලයක් තුළ සිදුවන ස්වාභාවික ක්‍රියාවලියට සමාන වේ
    • හොඳින් වර්ධනය වූ කළල දෙකක් ගර්භාෂයේ තැම්පත් කරන අතර අතිරික්ත කළල සියල්ල අධිශීත කෙරේ
  6. කළල තැම්පත් කිරීම හා ගර්භණීභාවය තහවුරු කිරීම
    • කළල ගර්භාෂය තුල අධිරෝපණය වීම පහසු කිරීම සඳහා ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය (ප්‍රොජෙස්ටරෝන් ජෙල්) ඩිම්භ චූෂණයෙන් පසු දින සිට දිනපතා ලබාදේ
    • තෝරාගත් කළල දෙකක් ET කැතීටරයක් භාවිතයෙන් ගර්භාෂය තුළ තැම්පත් කෙරේ


      කළල තැම්පත් කිරීම ස්කෑන් පරීක්ෂණය ඔස්සේ පෙනෙන ආකාරය
    • කළල තැම්පත් කිරීමෙන් දින 14 කට පසුව රුධිර සාම්පලයක් පරීක්ෂා කිරීම මගින් ගර්භණීභාවය තහවුරු කරේ